ඉන්දීය මානව ක්‍රියාකාරිනී ඉරෝම් ශර්මිලා අවුරුදු 16 කට පසු උපවාසය අත්හරී



 

ඉම්පාල් නුවරදීය (එන්.ඩී.ටීවී.)
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්ත රජය හමුදාවට විශේෂ බලතල පවරා,  නිල නියෝගයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ විරෝධතාකරුවන්ට හිතුමතේ වෙඩි තැබීමට පියවර ගත්තේ යැයි චෝදනා කරමින්, ඊට විරෝධය පා වසර 16 ක් උපවාස කළ මානව ක්‍රියාකාරිනී ඉරෝම් ශර්මිලා පෙරේදා (9) සිය උපවාසය අවසන් කළාය. 


ඇය එම අවස්ථාවේදී කියා සිටියේ මනිපූර් ප්‍රාන්ත මහ ඇමැති ධුරය අපේක්ෂාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයට තමා ඉදිරිපත් වන බවය. 


මනිපූර් ප්‍රාන්ත වැසියන් 10 දෙනකු මරා දැමුවේ යැයි හමුදාවටත් ප්‍රාන්ත රජයටත් චෝදනා කරමින්, ඉරෝම් ශර්මිලා සිය උපවාසය ආරම්භ කළේ 2000 වසරේදීය. එම අවස්ථාවේදී ඇය සිරභාරයට ගනු ලැබුණි. 


ආහාර නොගෙන දිවි හානි කර ගැනීමට ඇය සැරැසෙනවා යැයි පවසමින් ප්‍රාන්ත බලධාරීහු ඇයට බලහත්කාරයෙන් ආහාර කැවීම ආරම්භ කළේ අධිකරණ නියෝගයක් ලබා ගෙනය. විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ඇය මනිපූර් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණි.


ඇයට දියර ආහාර දුන්නේ ඇගේ නාසයෙන් කුසට ඇතුළු කළ ප්ලාස්ටික් බටයක ආධාරයෙනි. ගතවුණු වසර 16 ක් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ ඉරෝම් ශර්මිලා ජීවත් වූයේ ඇයට ප්ලාස්ටික් බටයෙන් ලබා දුන් දියර ආහාරවලිනි.


ලොව දීර්ඝතම උපවාසය ලෙස සැලකෙන්නේ ද මෙම උපවාසයයි. උපවාසය අත්හරිද්දී 44 හැවිරිදි වියෙහි පසුවන ශර්මිලා ඉතා දුර්වල තත්ත්වයක පසු වූවාය. 


ඇය මී පැණි බිංදුවක් තොල ගාමින් උපවාසය අවසන් කළ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවාය. ඉදිරියේ දී පැවැත්වෙන මනිපූර් ප්‍රාන්ත මැතිවරණයට ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වන බව ඇය කීවාය.


ශර්මිලා ඊයේ (10) යළි මනිපූර් ප්‍රාන්තයේ ඇය පදිංචි කයිසම්පාත් පළාතට පැමිණෙද්දී, ඇයට ඇගේ ගම් පළාතේ වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඒ ඇය ඇගේ උපවාසය අවසන් කළ නිසාය.


එම විරෝධතා මැද ඇයට ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට යෑමට සිදුවිණි. 


වසර 16 ක් ඝණ ආහාර නොලැබීමෙන් ඇය ඉතා දුර්වල තත්ත්වයක පසුවන්නීය. පොලිසිය මුලින් යෝජනා කළේ ඇයට ඒ අසල පිහිටි ආරාමයක නවාතැන් ගැනීමට කටයුතු සලසා දෙන ලෙසටය. කෙසේ නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති නිසා ඇය තව ටික කලක් රෝහලක වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටිය යුතුයැයි තීරණය කෙරුණි. ඒ අනුව, ඇය මනිපූර් ජවහල්ලාල් රෝහලට ඇතුළත් කෙරුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.


RECOMMEND POSTS